Saturday, March 15, 2014

අපේ ගම For Sale

                                                        අපේ ගම For Sale

"ගමයි ,පන්සලයි ,වැවයි ,දාගැබයි" වසර දෙදහස් පන්සීයකට වැඩි ඍඩ ඉතිහාසයකට උරුමහරුමකම් කියන ශේෂ්ඨ ජාතියක් බිහිකල අති දැවැන්ත ශිෂ්ඨාචාරයක පදනම වනාහි මෙම සිව්වදනයි.ගමෙන් ඔවුන් ජීවත් වු සෞභාගයමත් වටාපිටාවද , පන්සලෙන් ආගමික සංස්කෘතියද ,වැවෙන් ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වු කෘෂිකාර්මික වපසරියද ,දාගැබෙන් ඔවුන් තුල කිදා බැස තිබු විශ්වාසය හා පුජනීයත්වයද විග්‍රහ වේ.වාසනාවට හෝ අවාසනාවට ශ්‍රිලංකාවට දාව ඉපදුණු ඔබ අපද මෙම ශිෂ්ඨාචාරයේ කොටස්කරුවෝය.එම නිසා මේ ගැන කතා කිරීමට කැක්කුමක් අපටද ඇත.
 
ගම යනු අප ජාතියේ ආරම්භය සනිටුහන් කරන එක සජීවී කෙන්ද්‍රස්ථානයකි. එනම් ශ්‍රිලංකාවේ සිවිල් ජනාවාස ආරම්භවන්නේ ගමෙනි.එහෙයින් අප සියලු දෙනා ඝජුවම හෝ වක්‍රාරයෙන්ගමට සම්බන්ධය.උදාහරණයක් ලෙස ඔබ ගමක ඉපිද හෝ හැදී වැඩි නොතිබුණද , ඔබගේ පියා එසේත් නැතිනම් අත්තා ,පනත්තා ,නත්තා ,මුත්තා ,කිරිකිත්තා,කිරි කෑ මුත්තා මේ කවරකු හෝ ගමට ජනිත වුවන් බව නොඅනුමානය. එහෙයින් ගම කියු සැණෙන් යම් යථාර්තවාදී චිත්‍රයක් මනසේ මවා ගැනීමට හැකිවීමට තරම් අප තවමත් වාසනාවන්තයො වෙමු.
 
අද ශ්‍රීලංකාව සාපේක්ෂව බලන කල විශාල ආර්ථික හා සාමාජීය පරිහානියකට ලක්ව තිබේ.සමාජීය පරිහානිය පිලිබදව අමුතුවෙන් උදාහරණ ගෙන හැර දැක්විය යුතු නැත.මෙය ලංකාවට පමණක් නොව මුලු ලෝකයාටම පොදු ධර්මතාවක් ලෙස සිතා අපට සිත හදා ගත හැකිය.කෙසේ නමුත් සමාජීය පරිහානියට නිධන් ගත හේතුව වන්නේ මුලික වශයෙන් මිනිසාගේ අධයාත්මික සංවර්ධනයයි. දියුණු රටක(ආර්ථික සංවර්ධිත රටවල්) නම් මෙහි වගකීම කිසියම් ආගමකට බැර කල හැක.එහෙත් ලංකාව වැනි තවමත් තුන්වන ලෝකයේ සිටින රටකට මෙහි වගකීම හුදෙක් ආගමකට පමණක් බැර කර අත සෝදා ගත නොහැක.මන්ද යත් අපගේ ආර්ථික කඩාවැටීම අපගේ සමාජීය පරිහානියට ඝජුව බලපාන හෙයිනි.එම නිසා අප මුලිකත්වය දිය යුත්තේ අපගේ ආර්ථික සංවර්ධනයටය. "කුසගින්නේ සිටින මිනිසුන්ට බණ කීමට යාම අණුවන ක්‍රියාවකි."
 
වර්තමානයේ ගම් නගර වී,නගරද සුපිරි නගර බවට පත්වෙමින් තිබේ.මෙය එක්තරා පැතිකඩකින් ඉතාහොද දෙයකි.නවීන තාක්ෂණය සමග ඉදිරියට යාම රටක ජතියක සංවර්ධනයට ඉතා වැදගත්ය.අප එය විවේචනය නොකරන්නෙමු.එහෙත් මෙම සංවර්ධනය අප රටට උචිත හෙවත් යොගයය සංවර්ධනයක් දැයි සොයා බැලීම වැදගත්ය. සරල උදාහරණයක් ගනිමු.ඔබ විශාල බැංකු ණයක් ගෙන සුවිසල් අලංකාර නිවසක් ගොඩනගනවා යැ‍යි සිතන්න.මෙය කාමර හතකින් , වැසිකිලි හතරකින් යුතුව විශාල භූමි ප්‍රමාණයක ඉදිවේ. වෙල්යායක් අසල පිහිටා ඇති මෙමෙ නිවසට ඔබ විශාල මුදලක් වැයකර වායුසමීකරණ පද්ධතියක්ද සවි කරයි.අවසානයේ ඔබ නිවස සාදා අවසන් කරයි.බැලු බැල්මට මෙය මනස්කාන්ත දර්ශනයකි.සමාජයද ඔබව පසසයි ,ලොකු සල්ලි කාරයෙක්ගේ ගෙයක් යැයි පවසයි.එහෙත් යථාර්තය ඔබ ඉදිරියේ විශාල ණය බරකි.ණය බරින් මිරිකී සිටින ඔබට ජීවිත්යේ මුලික අවශයතා පවා කප්පාදු කිරීමට සිදුවනු ඇත.අවසානයේ ඔබට මෙම ණය ගෙවීමට නොහැකිව නිවසද බැංකුවට සින්නවනු ඇත. අප රටේ සංවර්ධනයද මේ හා සමානය. ආර්ථික විද්‍යාවේ මුලිකම න්‍යාය හර සහ බැරය ,නොහොත් ආදායම් හා වියදම්ය.ඕනෑම දෙයක දියුණුව වනාහි ආදායමට සාපේක්ෂව වියදම පහතින් පවත්වා ගැනීමය. කුඩා තේ කඩයේ සිට මහාපරිමාණ ව්‍යාපාර දක්වා මෙය පොදු ආර්ථික න්‍යායකි. අද ලංකාවේ ආර්ථිකය මේ සරල න්‍යායටවත් යටත් නැත. වර්තමානයේ ලංකාව විශාල ණය බරකට මුහුණපා සිටී , මෙය කොතෙක් දැයි කිවහොත් එම ණයෙහි පොලිය ගෙවීමට පමණක් තවත් ණය ගැනීමට සිදුව ඇත.රජය මෙම සියලු බර අසීමිත ලෙස බදු අයකිරීම මගින් ජනතාව මත පටවා ඇත.මෙය දරා ගැනීමට නොහැකිව ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් කඩාවැටීමට ලක්ව ඇත. වර්තමානයේ ලංකාවේ සංවර්ධනයේ නිර්නායක වී ඇත්තේ මහාමාර්ග,ගුවන් තොටු පල හා වරාය ඉදිකිරීම්ය.රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම රටක සංවර්ධන ක්‍රියාවලියේ ධනාත්මක සාධකයකි.එමගින් පොදු ජනයාගේ ප්‍රවාහනය විදිමත්වීම ඔස්සේ රටේ ආර්ථික ක්‍රියාවලියට යම් සක්‍රීය දායකත්වයක් සපයනු ඇත.එහෙයින් අතුරුපාරේ සිට ප්‍රධාන මාර්ග දක්වා පුලුල් කිරීම් ,කාපට් කිරීම් අපි හෙලා නොදකිමු.එහෙත් කි.මි 432 දිගින් හා කි.මි.224 පලලින් යුතු ශ්‍රිලංකාව තුල අධි වේගී මාර්ග පමණක් මුලික කර ගත් සංවර්ධනයක් අපට යෝග්‍යය දැයි සිතා බැලිය යුතුය.තවද විශාල වශයෙන් ලෝකයට ණ‍ය වෙමින් ඉවක් බවක් නැතිව කරන දැවැන්ත ඉදිකිරීම් ,උදාහරණ ලෙස නැව් නෝඑන හම්බන්තොට වරාය ,ජෝයි ෆලයිට් යන මත්තල ගුවන් තොටුපල, තරග නැති ක්‍රීඩාංගන හරහා රටේ ආර්ථිකයට වන විනාශය සලකා බැලිය යුතුය. බැලූ බැල්මට 10% ජීවත් වන කොලඹ නගරය ඉතා සුන්දරය. එහෙත් මෙය සිරිදාසගේ ගේ සැදීම වැනි දැයි සිතා බැලිය යුතුය.මේ අයුරින් වර්තමාන රජය විසින් අප රට මතුපිටින් පමණක් පෙනෙන භෞතික සංවර්ධනයකට සීමා වු සංවර්ධන මාවතකට අද රට ඇද දමා ඇත. එම නිසා අද අප රටේ අන්තිම හුස්ම ටික වැටෙන මහල්ලාගේ සිට නුපන් ලදරුවා දක්වා වු සැවොම ලෝකයට විශාල ණයකරුවන්ය. දැනට වුවද ශ්‍රිලංකාවේ ආර්ථිකය මේ අයුරින් හෝ පවත්වා ගනු ලබන්නේ මැද පෙරදිග වහල් සේවයට ගොස් සිටින අපගේ සහෝදර සහෝදරියන් මෙරටට ගෙන එනු ලබන විදේශ විනිමයට පින්සිදු වන්නටය. නෝඑසේ නම් අප සියල්ලන්ම යම් බලවත් රටක වහලුන් වන දිනය වැඩි ඈතක නොවේ. මේ සියල්ලට හේතුව අප අනුගමනය කරන සංවර්ධන මාවත අපට යෝග්‍යය නොවන්නක් වීමය.කෙස් පැලෙන තර්ක විතර්ක කොතෙකුත් ගෙන හැර දැක්විය හැකි වුවුද අමිහිරි සත්‍ය නම් අප රටට ආවේණික නොවු කොහේදො යන භෞතික සංවර්ධනයක් කරපින්නා අප ඒ තුල මංමුලාවී සිටීමය. ඔනෑම කෙහෙල්මලකට ලොකය දෙසට හැරෙන පරාධීන මනසක් ඇති මහා මොලකරු යැයි කියා ගන්නා පිරිසක් විසින් අපිව මෙම අගාධයට ඇද දමා තිබේ.ලොකයට උදාහරණ දීමට සමත් පරිපුර්ණ සංවර්ධනයක් හිමිකර සිටි ශේෂ්ඨ ජාතියකට අද මෙම නිවට රැල හමුවේ ලොකයාගේ ඇස්සට දත නියවීමට සිදුව ඇත.අගහරු ග්‍රහයාට රොකට් යවන යුගයක සිට වුවද අපට ගම ගැන කථා කීරීමට සිදුවුනුයේ ඒ නිසාය.
 
අපේ ගම වනාහි ස්වයංපොෂිත ආර්ථික ක්‍රමයක් පවත්වාගත් ස්ථානයකි.ඔවුනට අවශ්‍යය සියලු දෑ ගම තුල නිෂ්පාදනය විය.ඒ සදහා ගමේ සම්පත්ද ඔවුනට අවේණික වු තාක්ෂණයක්ද භාවිතා කලේය.මේ නිසා අපේ ගම කිසිවෙකුට ණය නැත.මේ නිසා අප උදාහරණයට ගත යුත්තේ අපේ ස්වයංපෝෂිත ගමය. එම අර්ථ ක්‍රමය මුලික න්‍යාය කර ගනිමින් නුතනයට ගැලපෙන අයුරින් රටේ සංවර්ධන ආකෘතිය නිර්මාණය කල යුතුය.ඉන් පසු මෙය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්කල යුතුය. එය බලයට පැමිණෙන ඕනෑම රජයක් විසින් පොදුව අනුගමනය කල යුතු රටේ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය විය යුතුය.ඒ සදහා අවධානය යොමුවිය යුතු කාරණා කිහිපයක් සැකවින් ගෙන හැර දක්වන්නෙමු.
 
රට තුල කර්මාන්ත ඇති කිරීමට ආයෝජන දිරිමත් කර ඒ තුලින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරීම.
 
කෘෂිකර්මාන්තය නගා සිටුවා ,රටට අවශ්‍යය ආහාර රට තුල නිපදවා , අහාර ආනයනය සදහා වැය වන විදේශ විනිමය අවම කිරීම. එමෙන්ම ආනයන කෙරෙන ආහාර ද්‍රව්‍යය සදහා වන ආනයන බද්ද වැඩි කර , ජනතාව දේශීය පරිභෝජනයට හුරු කිරීම.(උදාහරණයක් ලෙස ජපානයේ හාල් සදහා වන ආනයන බද්ද 400% කි.)
 
අද ලෝකයේ ඉහල ඉල්ලුම්ක් ඇති සුලු අපනයන බෝග නිෂ්පාදනය වැඩි කරීමට අවශ්‍යය ආයෝජන දිරිමත් කිරීම.
 
විදේශ ගත වන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි කිරීම. ඒ සදහා අවශ්‍යය වෘත්තීය පුහුණුව හා විදේශ ගත වීමට අවස්ථා ලබාදීමට ආයෝජනය කර ,ප්‍රතිලාබ ලෙස ඔවුන් හරහා රට තුලට විදේශ විනිමය ගලා ඒමට සැලස්වීම.
 
ශ්‍රීලංකාව අද බොරතෙල් ගෙන්වීම සදහා විශාල මුදලක් වැ‍ය කරයි. මින් වැඩි ප්‍රතිශතයක් වැ‍ය වන්නේ රථ වාහන සදහාය.මෙය අවම කර ගැනීමෙන් විශාල විනිමයක් රට තුල ඉතිරි කර ගත හැක. මෙය කල හැක්කේ විකල්ප බලශක්ති භාවිතා කරන රථවාහන (hybrid ,electric ,gas)පරිහරණයට ජනයා නැඹුරු කිරීමෙනි.මේ වාහන සදහා විශේෂ බදු සහන හා දීමනා රජය විසින් ලාබා දීම මගින් එහි ප්‍රතිලාභ රටේ ආර්ථිකයට පමණක් නොව පරිසරයටද හිතකාමී වනු ඇත.
 
රටේ ආර්ථිකය කාදමමින් සිදුකෙරෙන තාප බලාගාර වෙනුවට අවුරුද්දේ 365 දවසේම ඉරපායන රටේ සුර්යය බලාගාර ඉදිකිරීමට ආයෝජනය කිරීම.
 
අධිවේගී මාර්ග වෙනුවට සියලු දෙනාට පරිහරණය කල හැකි රට අභ්‍යන්තරයේ ඇති දුම් රිය මාර්ග වැඩි දියුණු කිරීම.
 
තවද අපේ ගම් තුල පාරම්පරිකව රැකගෙන ආ දේශීය ඥානය විශ්ව විද්‍යාල මට්ටමින් දැනුම ලෙස රට තුල ව්‍යාප්ත කල යුතුය,මන්ද යත් අපට යොග්‍යා සංවර්ධනය සැගව ඇත්තේ එම ඥානය තුලය.උදාහරණ ලෙස අයුරුවේද වෛද්‍යය විද්‍යාව ,පාරම්පරික කෘෂිකාර්මාන්තය හා සත්වපාලනය ආදියේ භාවිතා කල ක්‍රමවේදයන් දැක්විය හැක. එවිට තාක්ෂණය සදහා පිටරටට වැ‍යකිරීමට සිදුවන පිරිවැය අඩුවනු ඇත.
 
මේ අයුරින් අප රටේ වර්තමාන සංවර්ධනයට අවශ්‍යය මුලික න්‍යාය සැගව ඇත්තෙ අපේ ගම් තුලය.එම නිසා අපට නැවත ආපස්සට හැරී අපේ ගම් සොයා යාමට සිදුවනු ඇත. වර්තමානයේ අපේ ගම හුදෙක් ප්‍රදර්ශන හා වෙලද භාණ්ඩයක් බවට පත්ව ඇත. ඒහත් අපේ ගම අප නියම ආකාරයෙන් තේරුම් ගෙන ඇත්දැයි ප්‍රශ්නයකි. අපේ ගම තුල පැවති ගැඹුරු දර්ශනය වෙනුවට අප සැබවින්ම උකහාගෙන ඇතතේ මතුපිටින් පෙනෙන ගමේහි භෞතිකමය ලක්ෂණ පමණක් වීම මෙයට හේතුවයි. ලගදී දිනක කොලඹ ඉදිකර ඇති අපේගම බැලීමට ගියෙමි. රු 100 ක මුදලක් ගෙවා අපේ ගමට ඇතුලු වුයෙමි. විශාල බස් රථ දෙකකින් පැමිණි පාසල් සිසුන් පිරිසක් පොලීමේ අපේගම බැලීමට සැදී පැහැදී සිටිනු දුටු මා හට සිහිවුයේ මගේ ලමා කාලයයි. එහෙත් එම චිත්තප්‍රමොදය කලකිරීමකට හැරවුයේ බස් රථ වල "අනුරාධපුරය" හා "කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය "යන නාම පුවරු දැකීමෙනි.අද අපට සිදු වී ඇති ඛේදවාචකය මෙයයි. ගමේ දරුවන් ගෙනැවිත් අපට සංවර්ධනය කියා පෙන්වීමට සිදුව ඇත්තේ කොලඹ ඉදිකර ඇති "අපේ ගමය".මෙය රටේ සංවර්ධන න්‍යාය පත්‍රයට කෙසේ වෙතත් රටේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට නම් සුභවාදී වනු ඇත.
 
Author:Daminda dampahalage

No comments:

Post a Comment