Thursday, March 20, 2014

නගින්න ජීවිතයේ බස් රථයට

                                                       නගින්න ජීවිතයේ බස් රථයට

ඉර අවරට යන කණිසමේ  බස් නැවතුම් පලක් ඉදිරිපිට බසයක් නවතා තිබෙණු පෙනේ. කොපි පොත් කිහිපයක් බීඩි මිටියක් සේ රෝල් කරගත් දැලි රැවුල් කාර තරුණයෙක් තවත් තරුණියක් සමග බසයට ගොඩ වෙයි. දෙදෙනාම පසුපසම අසුනට ගොස් එක් කොනක වාඩි වෙයි.
 
හර්ෂ : බලන්නකෝ.... අදත් ඔයා පරක්කුයිනේ. මම අව්වේ කර වෙවී පැ‍යක් විතර බලා හිටියා.
සෙව්වන්දි : අනේ සොරි හර්ෂ... විභාගේ ලග නිසා සර් අද ටිකක් වැඩිපුර වේලා අරන් ක්ලාස් එක කලා.
හර්ෂ : ඒ වුණාට ඔයාට ටිකක් කලින් පැන ගන්න තිබුණනේ?
සෙව්වන්දි : අනේ මම කොහොමද එහෙම එන්නෙ...අනික යාලුවොත් සැක හිතයි.
හර්ෂ : ඔයා මොකටද යාලුවන්ට බය වෙන්නේ?
සෙව්වන්දි : කවුරු හරි දැකලා ගෙදරට කිව්වොත් අපිට මෙහෙමවත් හම්බවෙන්න බැරිවෙනව..අනික මේ ටික එන්නෙත් ගෙදරට බොරු කීයක් කියලද.
හර්ෂ : මටත් දැන් මේ හැංගි මුත්තම ඇතිවෙලා තියෙන්නේ....මම හිතාගෙන ඉන්නෙ විභාගෙ ඉවර වුණු ගමන් ජොබ් එකක් හොයා ගන්න. ඊට පස්සෙ මම කෙලින්ම ඇවිල්ලා ඕගොල්ලන්ගෙ ගෙදරින් අහනවා.
ඇය කිසිත් නොකියා තරුණයාගේ අතක් තදින් අල්ලා ගත්තාය.
බසය පණ ගැන්වෙයි.
 
 
ලොකු කාඩ්බොඩ් පෙට්ටි කිහිපයක් උසවා ගත් තරුණ යුවලක් කඩිසරව බසයට ගොඩ වෙයි. ඔවුන් තරමක් පිටුපස වු අසුනක අසුන් ගනී.
නදීකා :  බබා ඔයා කාඩ් ටිකයි ,පෙට්ටි ටිකයි ඔක්කොම ගැනලා නේද සල්ලි දුන්නෙ?
ජනිත : ඔව්...කාඩ් 150 යි , කේක් පෙට්ටි 200 යි.
නදීකා : වෙඩින් එක නොකියන අයට කේක් කෑල්ලක්වත් යවන්න එපෑය. අනික වෙඩින් එක කියනවා කියලා කී දෙනෙකුට කියලා පිරිමහන්නද නේද?
ජනිත : ඔව් එහෙමවත් කරමු....යාංතං මේ වැඩේ නං ඉවරයි....
නදීකා : අපෝ  තව කොයි තරම් වැඩ තියෙනවද.....හොල් එක, කෑම බීම ,බෑන්ඩ් එක ,පෝරුව,ෆලවර් ඇරෙන්ජ්මන්ට් .....එතකොට මගෙ සාරිය....අනේ බබා අපි ෆොටෝ ටිකත්  හොදම තැනකට දෙමු . අන්තිමට කවද හරි ඉතුරු වෙන්නෙ ඔය වෙඩින් ඇල්බම් එක විතරයිනෙ...හොද වෙලාවට ඔයාගේ කොම්පැණි ලෝන් එක පාස් වුණේ නේද බබා?
ජනිත : ගත්තා වගේම ඕක පොලියත් එක්ක ගෙවන්නත් එපෑය ඉතින්.
නදීකා : ඒ වගේද බබා අපේ නිදහස ,සතුට  ......වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නා අපේම කියලා පුංචි ලෝකෙක තනිවෙනවානෙ.
ඇ‍ය එසේ පවසමින් තරුණයාගේ උරහිසට හිස තබා ගත්තාය.
ගියරයක් මාරු වී බස් රථය ඉදිරියට ඇදෙයි.
 
 
ගැබිණි කාන්තාවක් සමග පිරිමියකු බසයට ගොඩ වී මැද පෙල අසුනක අසුන් ගනියි.
දිනුෂා : ඊයෙත් ඕගොල්ලන්ගේ අම්මා මට ඇණුම් පදයක් කිව්වා.
බුද්ධික : ඔයා නෑහුනා වගේ ඉන්න.
දිනුෂා : එහෙම තමයි මම මෙච්චර දවසක් ඉවසන් හිටියේ....මට බෑ තවත් ඉවසන්න.
බුද්ධික : අපිට ඉවසන්න වෙනවා දිනු...මේ වෙලාවේ අම්මා නැත්තං කොහොමද ඔයාගේ වැඩ ටික තනියම කරගන්නේ.
දිනුෂා :අපි වැඩට කවුරු හරි ගමු.
බුද්ධික : අද කාලේ වැඩට විස්වාසවන්ත කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑ....අනික මේ හදිස්සියෙ මම කොහොමද වැඩකාරයෙක් හොයන්නෙ.
දිනුෂා : ඔයාට ඉතින් මොකද....ඔයා උදේ පාන්දර ගෙදරින් ගියහම එන්නෙ රෑ වෙලා .....මම තමයි ඇණුම් පද අහ අහා ගෙදරට හිරවෙලා ඉන්න ඕනා.
බුද්ධික : මම කියලා මොනව කරන්නද දිනු.....අපි තව ටිකක් ඉවසමු.
දිනුෂා : මට බෑ තවත් ඉවසන්න....මම අපේ අම්මලගෙ ගෙදර යනව.
ඇය බසයේ කවුලුවක වීදුරුවට හිස තබ ගත්තාය.
බස් රථය ක්‍රමයෙන් වේගය වැඩිකරමින් ඉදිරියට ඇදෙයි.
 
 
කුඩා දරුවකු හා යුවලක් බස් රථයට ගොඩ වී මැද පෙලට ඉදිරියෙන් වු අසුනක අසුන් ගනී.
අරුන්දතී : කරදර නොකර ඉන්න ලමයෝ.....
දමින්ද : තව ටික දුරයිනේ පුතා.....දඟ නොකර ඉන්නකෝ...
අරුන්දතී : ඒක තමයි මම කලින්ම කිව්වේ ටැක්සියක් අරං එමු කියලා. මේ ලමයි එක්ක පාරේ රස්තියාදු වෙන්න බෑ.
දමින්ද : මොකේ ගියත් යන්නේ එකම ගමන , එකම තැනට නේ......අනික කොහෙ තියෙන සලලියක්ද නිකං නාස්ති කරන්න
අරුන්දතී : අපොයි ඔව්......තමුසෙට මටයි දරුවටයි වියදම් කරන්න තමයි සල්ලි නැත්තේ....අනිත්  ඒවට නං ඉතින්.........
දමින්ද : නිකං පිස්සු දොඩවන්නෙ නැතුව ඉන්නවා.
අරුන්දතී : මට තමුසේ එක්ක ඉදලා පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ.
දමින්ද : කෑ ගහන්න එපා යෝධියේ . මේ ගෙදර නෙමෙයි....බස් එකේ මිනිස්සුත් බලනවා.
කාන්තාව කුඩා දරුවා ඔඩොක්කුවේ තුරුලු කර ගනිමින් කවුලුව දෙසට නෙත් යොමයි.
බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි.
 
 
ලිපිගොනුවක් රැගත් තරමක් වයෝ වෘධ යුවලක් බසයට ගොඩවෙයි. ඔවුන් ඉදිරිපෙල අසුනක අසුන් ගනී.
රූපා : මගේ හිතටනං මහා මොකද්දෝ වගේ.....
උපාලි : ඔයා කලබල නොවී ඉන්න....මම හොදට හිතලා තමයි මේ තීරණේ ගත්තේ....
රූපා : ඒත් ලොයර් කිව්වා අපිට මේ ගැන තව ටිකක් හිතලා බලන්න කියලා.
උපාලි : තව මොනව හිතන්නද......නහයටත් උඩින් වතුර ගියාට පස්සේ
රූපා : මොන හිතුවක්කාරකම කලත් උන් අපේ දරුවොනේ...
උපාලි : දරුවො නෙමෙයි මුන්.......මීට වඩා හොදයි හරක් පැටව් තුන්දෙනෙක් පුන්නක්කු දීලා හදා ගත්තනං....අඩුම තරමේ ඔලුව අතගානකොට උම් බෑ වත් කියයි.
රූපා :මම හිතාගෙන හිටියේ චුටි පුතාවත් අපිට කීකරුව අපි කියන දෙයක් අහගෙන ඉදියි කියලා.
උපාලි : මමත් හිතාගෙන හිටියේ ඌට මේ ඕක්කොම බාර දීලා සැනසීමේ ඉන්න. ඒත් ඌත් ගියේ අනිත් හරක් දෙන්නා ගිය පාරෙනේ.
රූපා :එක අතකට මේවා අපේ වැරදි.......අපි සල්ලි පස්සේ දිව්වා මිසක් දරුවො තේරුම් ගන්න අපි උත්සාහ කලේ නෑ.
උපාලි : අපි කොච්චර දුක් මහන්සියෙන්ද මේවා හරි හම්බ කරලා මුන්ට උගන්නලා ලොකුමහත් කෙරුවේ.........මම නං දරුවො හිටියේ නෑ කියලා හිත හදාගෙන තමයි මේ තීරණේ ගත්තේ.
බස් රථයේ වේගය ක්‍රමයෙන් අඩුවේ.
 
 
වයෝවෘධ යුවලක් බස් රථයට ගොඩ වෙයි. වියපත් පුරුෂයා ,කන්තාව වත්තම් කර ගනිමින් ඉදිරියෙන්ම අසුන් ගනී.
පුෂ්පා : ඇවිදල මගේ කකුල් දෙක හොදටම රිදෙනවා අපේ මහත්තයා.
මහින්ද : මේ බෙහෙත් ටික බිව්වහම ඕක අඩුවෙයි.
පුෂ්පා : මට පුතාව ඊයෙත් හීනෙන් පෙණුනා.....පුතා ඇවිල්ලා මගේ ඔලුව අතගාලා "අම්මා මොකද" කියලා ඇහුවා.
මහින්ද : ඔයා රෑ තිස්සේ ඔය ටෙලිනාට්‍යය බලන එක නවත්තන්න, එතකොට ඔය විකාර හීන පේන එක නවතියි.
පුෂ්පා : මගෙ ඔපරේෂන් එකට කලින් අපි පුතාට ඇවිල්ලා යන්න කියලා කෝල් එකක් දෙමුද?
මහින්ද : ඩොක්ටර් කිව්වනෙ ඊලග ඔපරේෂන් එකෙන් පස්සේ ඔය අමරුව අඩුවෙයි කියල.
පුෂ්පා : පුතා ගිහින් අවුරුදු පහකටත් කිට්ටු උණා. මට ආසයි පුතාව බලන්න.
මහින්ද : පුතාට එහෙම එකපාරට නිවාඩු ගන්න අමාරු ඇතිනෙ.......අපි පුතාට කරදර නොකර ඉමු.
වියපත් පුරුෂයා කාන්තවගේ හිස අතගාමින් සිය උරහිසට ඇය වත්තම් කරගත්තේය.
බස් රථය තවත් නැවතුම්පලක නතර වෙයි.
 
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
 
Author : Daminda dampahalage
 


No comments:

Post a Comment