Thursday, March 20, 2014

නගින්න ජීවිතයේ බස් රථයට

                                                       නගින්න ජීවිතයේ බස් රථයට

ඉර අවරට යන කණිසමේ  බස් නැවතුම් පලක් ඉදිරිපිට බසයක් නවතා තිබෙණු පෙනේ. කොපි පොත් කිහිපයක් බීඩි මිටියක් සේ රෝල් කරගත් දැලි රැවුල් කාර තරුණයෙක් තවත් තරුණියක් සමග බසයට ගොඩ වෙයි. දෙදෙනාම පසුපසම අසුනට ගොස් එක් කොනක වාඩි වෙයි.
 
හර්ෂ : බලන්නකෝ.... අදත් ඔයා පරක්කුයිනේ. මම අව්වේ කර වෙවී පැ‍යක් විතර බලා හිටියා.
සෙව්වන්දි : අනේ සොරි හර්ෂ... විභාගේ ලග නිසා සර් අද ටිකක් වැඩිපුර වේලා අරන් ක්ලාස් එක කලා.
හර්ෂ : ඒ වුණාට ඔයාට ටිකක් කලින් පැන ගන්න තිබුණනේ?
සෙව්වන්දි : අනේ මම කොහොමද එහෙම එන්නෙ...අනික යාලුවොත් සැක හිතයි.
හර්ෂ : ඔයා මොකටද යාලුවන්ට බය වෙන්නේ?
සෙව්වන්දි : කවුරු හරි දැකලා ගෙදරට කිව්වොත් අපිට මෙහෙමවත් හම්බවෙන්න බැරිවෙනව..අනික මේ ටික එන්නෙත් ගෙදරට බොරු කීයක් කියලද.
හර්ෂ : මටත් දැන් මේ හැංගි මුත්තම ඇතිවෙලා තියෙන්නේ....මම හිතාගෙන ඉන්නෙ විභාගෙ ඉවර වුණු ගමන් ජොබ් එකක් හොයා ගන්න. ඊට පස්සෙ මම කෙලින්ම ඇවිල්ලා ඕගොල්ලන්ගෙ ගෙදරින් අහනවා.
ඇය කිසිත් නොකියා තරුණයාගේ අතක් තදින් අල්ලා ගත්තාය.
බසය පණ ගැන්වෙයි.
 
 
ලොකු කාඩ්බොඩ් පෙට්ටි කිහිපයක් උසවා ගත් තරුණ යුවලක් කඩිසරව බසයට ගොඩ වෙයි. ඔවුන් තරමක් පිටුපස වු අසුනක අසුන් ගනී.
නදීකා :  බබා ඔයා කාඩ් ටිකයි ,පෙට්ටි ටිකයි ඔක්කොම ගැනලා නේද සල්ලි දුන්නෙ?
ජනිත : ඔව්...කාඩ් 150 යි , කේක් පෙට්ටි 200 යි.
නදීකා : වෙඩින් එක නොකියන අයට කේක් කෑල්ලක්වත් යවන්න එපෑය. අනික වෙඩින් එක කියනවා කියලා කී දෙනෙකුට කියලා පිරිමහන්නද නේද?
ජනිත : ඔව් එහෙමවත් කරමු....යාංතං මේ වැඩේ නං ඉවරයි....
නදීකා : අපෝ  තව කොයි තරම් වැඩ තියෙනවද.....හොල් එක, කෑම බීම ,බෑන්ඩ් එක ,පෝරුව,ෆලවර් ඇරෙන්ජ්මන්ට් .....එතකොට මගෙ සාරිය....අනේ බබා අපි ෆොටෝ ටිකත්  හොදම තැනකට දෙමු . අන්තිමට කවද හරි ඉතුරු වෙන්නෙ ඔය වෙඩින් ඇල්බම් එක විතරයිනෙ...හොද වෙලාවට ඔයාගේ කොම්පැණි ලෝන් එක පාස් වුණේ නේද බබා?
ජනිත : ගත්තා වගේම ඕක පොලියත් එක්ක ගෙවන්නත් එපෑය ඉතින්.
නදීකා : ඒ වගේද බබා අපේ නිදහස ,සතුට  ......වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නා අපේම කියලා පුංචි ලෝකෙක තනිවෙනවානෙ.
ඇ‍ය එසේ පවසමින් තරුණයාගේ උරහිසට හිස තබා ගත්තාය.
ගියරයක් මාරු වී බස් රථය ඉදිරියට ඇදෙයි.
 
 
ගැබිණි කාන්තාවක් සමග පිරිමියකු බසයට ගොඩ වී මැද පෙල අසුනක අසුන් ගනියි.
දිනුෂා : ඊයෙත් ඕගොල්ලන්ගේ අම්මා මට ඇණුම් පදයක් කිව්වා.
බුද්ධික : ඔයා නෑහුනා වගේ ඉන්න.
දිනුෂා : එහෙම තමයි මම මෙච්චර දවසක් ඉවසන් හිටියේ....මට බෑ තවත් ඉවසන්න.
බුද්ධික : අපිට ඉවසන්න වෙනවා දිනු...මේ වෙලාවේ අම්මා නැත්තං කොහොමද ඔයාගේ වැඩ ටික තනියම කරගන්නේ.
දිනුෂා :අපි වැඩට කවුරු හරි ගමු.
බුද්ධික : අද කාලේ වැඩට විස්වාසවන්ත කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑ....අනික මේ හදිස්සියෙ මම කොහොමද වැඩකාරයෙක් හොයන්නෙ.
දිනුෂා : ඔයාට ඉතින් මොකද....ඔයා උදේ පාන්දර ගෙදරින් ගියහම එන්නෙ රෑ වෙලා .....මම තමයි ඇණුම් පද අහ අහා ගෙදරට හිරවෙලා ඉන්න ඕනා.
බුද්ධික : මම කියලා මොනව කරන්නද දිනු.....අපි තව ටිකක් ඉවසමු.
දිනුෂා : මට බෑ තවත් ඉවසන්න....මම අපේ අම්මලගෙ ගෙදර යනව.
ඇය බසයේ කවුලුවක වීදුරුවට හිස තබ ගත්තාය.
බස් රථය ක්‍රමයෙන් වේගය වැඩිකරමින් ඉදිරියට ඇදෙයි.
 
 
කුඩා දරුවකු හා යුවලක් බස් රථයට ගොඩ වී මැද පෙලට ඉදිරියෙන් වු අසුනක අසුන් ගනී.
අරුන්දතී : කරදර නොකර ඉන්න ලමයෝ.....
දමින්ද : තව ටික දුරයිනේ පුතා.....දඟ නොකර ඉන්නකෝ...
අරුන්දතී : ඒක තමයි මම කලින්ම කිව්වේ ටැක්සියක් අරං එමු කියලා. මේ ලමයි එක්ක පාරේ රස්තියාදු වෙන්න බෑ.
දමින්ද : මොකේ ගියත් යන්නේ එකම ගමන , එකම තැනට නේ......අනික කොහෙ තියෙන සලලියක්ද නිකං නාස්ති කරන්න
අරුන්දතී : අපොයි ඔව්......තමුසෙට මටයි දරුවටයි වියදම් කරන්න තමයි සල්ලි නැත්තේ....අනිත්  ඒවට නං ඉතින්.........
දමින්ද : නිකං පිස්සු දොඩවන්නෙ නැතුව ඉන්නවා.
අරුන්දතී : මට තමුසේ එක්ක ඉදලා පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ.
දමින්ද : කෑ ගහන්න එපා යෝධියේ . මේ ගෙදර නෙමෙයි....බස් එකේ මිනිස්සුත් බලනවා.
කාන්තාව කුඩා දරුවා ඔඩොක්කුවේ තුරුලු කර ගනිමින් කවුලුව දෙසට නෙත් යොමයි.
බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි.
 
 
ලිපිගොනුවක් රැගත් තරමක් වයෝ වෘධ යුවලක් බසයට ගොඩවෙයි. ඔවුන් ඉදිරිපෙල අසුනක අසුන් ගනී.
රූපා : මගේ හිතටනං මහා මොකද්දෝ වගේ.....
උපාලි : ඔයා කලබල නොවී ඉන්න....මම හොදට හිතලා තමයි මේ තීරණේ ගත්තේ....
රූපා : ඒත් ලොයර් කිව්වා අපිට මේ ගැන තව ටිකක් හිතලා බලන්න කියලා.
උපාලි : තව මොනව හිතන්නද......නහයටත් උඩින් වතුර ගියාට පස්සේ
රූපා : මොන හිතුවක්කාරකම කලත් උන් අපේ දරුවොනේ...
උපාලි : දරුවො නෙමෙයි මුන්.......මීට වඩා හොදයි හරක් පැටව් තුන්දෙනෙක් පුන්නක්කු දීලා හදා ගත්තනං....අඩුම තරමේ ඔලුව අතගානකොට උම් බෑ වත් කියයි.
රූපා :මම හිතාගෙන හිටියේ චුටි පුතාවත් අපිට කීකරුව අපි කියන දෙයක් අහගෙන ඉදියි කියලා.
උපාලි : මමත් හිතාගෙන හිටියේ ඌට මේ ඕක්කොම බාර දීලා සැනසීමේ ඉන්න. ඒත් ඌත් ගියේ අනිත් හරක් දෙන්නා ගිය පාරෙනේ.
රූපා :එක අතකට මේවා අපේ වැරදි.......අපි සල්ලි පස්සේ දිව්වා මිසක් දරුවො තේරුම් ගන්න අපි උත්සාහ කලේ නෑ.
උපාලි : අපි කොච්චර දුක් මහන්සියෙන්ද මේවා හරි හම්බ කරලා මුන්ට උගන්නලා ලොකුමහත් කෙරුවේ.........මම නං දරුවො හිටියේ නෑ කියලා හිත හදාගෙන තමයි මේ තීරණේ ගත්තේ.
බස් රථයේ වේගය ක්‍රමයෙන් අඩුවේ.
 
 
වයෝවෘධ යුවලක් බස් රථයට ගොඩ වෙයි. වියපත් පුරුෂයා ,කන්තාව වත්තම් කර ගනිමින් ඉදිරියෙන්ම අසුන් ගනී.
පුෂ්පා : ඇවිදල මගේ කකුල් දෙක හොදටම රිදෙනවා අපේ මහත්තයා.
මහින්ද : මේ බෙහෙත් ටික බිව්වහම ඕක අඩුවෙයි.
පුෂ්පා : මට පුතාව ඊයෙත් හීනෙන් පෙණුනා.....පුතා ඇවිල්ලා මගේ ඔලුව අතගාලා "අම්මා මොකද" කියලා ඇහුවා.
මහින්ද : ඔයා රෑ තිස්සේ ඔය ටෙලිනාට්‍යය බලන එක නවත්තන්න, එතකොට ඔය විකාර හීන පේන එක නවතියි.
පුෂ්පා : මගෙ ඔපරේෂන් එකට කලින් අපි පුතාට ඇවිල්ලා යන්න කියලා කෝල් එකක් දෙමුද?
මහින්ද : ඩොක්ටර් කිව්වනෙ ඊලග ඔපරේෂන් එකෙන් පස්සේ ඔය අමරුව අඩුවෙයි කියල.
පුෂ්පා : පුතා ගිහින් අවුරුදු පහකටත් කිට්ටු උණා. මට ආසයි පුතාව බලන්න.
මහින්ද : පුතාට එහෙම එකපාරට නිවාඩු ගන්න අමාරු ඇතිනෙ.......අපි පුතාට කරදර නොකර ඉමු.
වියපත් පුරුෂයා කාන්තවගේ හිස අතගාමින් සිය උරහිසට ඇය වත්තම් කරගත්තේය.
බස් රථය තවත් නැවතුම්පලක නතර වෙයි.
 
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
 
Author : Daminda dampahalage
 


Monday, March 17, 2014

ලක්ෂ පහ

හැදින්වීම

වංචා සහගතව පිහිටුවා ගන්නා මුල්‍යය සමාගම් විසින් මිනිසුන්ගේ මුදල්  සුක්ෂම ලෙස කොල්ල කෑම වර්තමානයේ ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවකි.සක්විති ,ගොල්ඩන් කී ,දඩුවම මුදලාලිගේ පටන් මෑතක හෙලිදරවු තිස්සමහාරාම ලුමිනොස් වංචාව දක්වා මෙය පැමිණ  ඇත. දුප්පත් ගොවියාගේ රුපියලේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ කෝටිය    දක්වා   මුදල්  වැඩි පොලී අනුපාතික ලබා  දෙන මුවාවෙන් මෙම සමාගම් විසින් කොල්ල කා ඇත. මින් වැඩිපුරම අසරණතාවට හා පීඩනයට  පත්ව ඇත්තේ තම කණ කර පවා
උගස් කර තමන් මුලු ජීවිත කාලය පුරාවටම ඉපයූ සියලු මුදල් මෙම සමාගම් වල ආයෝජනය කල මධ්‍යම පාංතික ජන කොට්ඨාසයය. මේ තවත් එවැන්නකුගේ කථාවකි.


                                                               ලක්ෂ පහ

“හෝමාගම බහින්න. හෝමාගම” බසයේ කොන්දොස්තරගේ හඩින් සුමනසේකර මහතා හමුදාපෙල පාලියක අණ ලද්දෙකුසේ සිය අසුනෙන් නැගී සිටියේය. බදාදා පොල දිනයක් වු බැවින් මුලු හෝමාගම නගරයම එකම කලබලයකි. සෙනග බසයෙන් බැසීමටත් පෙර එලවලු මලු උස්සාගත් මගීහු බසයට ගොඩවීමට පොරකන්නට විය.සුමනසේකර මහතාද කෝන්දොස්තර කොලුවාගේ වදෙන් පොරෙන් හෙමිහිට බසයෙන් බිමට බැස ගති. නිතර දෙවේලේ සිය බිරිද සමග බදාදා පොලට පැමිණෙන විශ්‍රාමික ගුරුවරයෙක් වු සුමනසේකර මහතා හෝමාගම නගරයට ආගන්තුකයෙක් නොවුවද අද සුමනසේකර මහතාට එය එසේ නොවීය.වෙනදාට වඩා සිතට ගතට යම් අමුත්තක් ඔහුට දැනෙන්නට විය.වෙනදාට ඔහු කෙරෙන් මතුවන සන්සුන්කම අද පහව ගොසිණි.ඔහු පදික වේදිකාවේ කඩ අතරින් ටවුම දෙසට පය ඉක්මන් කරන්නට විය.සුමනසේකර මහතාගේ පයේ හයියට පදික වේදිකාවේ වෙලදුන්ගේ අඩහැරය ක්‍රමයෙන් පහවීයත්ම  සමාගම් ගොඩනැගිල්ල ඔහුට ඉදිරියෙන් දිස්වන්නට විය.තම සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නාක් මෙන් ඔහුට හැගුණි.එහෙත් ඔහු  සිය දෙපය ඉක්මන් කර ගොඩනැගිල්ල තුලට ඇතුලු විය.  ගොඩනැගිල්ල තුල කාර්ය්‍ය බහුල ස්වරූපයක් ඉසිලු අතර සෙනග කවුන්ටර්වල පෝලිං ගැසී සිටිනු ඔහුට දැකගත හැකිවිය.මොහොතක්වත් පමා නොවු සුමනසේකර මහතාද කවුන්ටර පෝලිමකට රිංගා ගති.

පසුදා  විශ්‍රාමික ගුරු සමිතියේදී ඇතිවු කත බහ ඔහුගේ සිතට නැවත ආවර්ජනයවන්නට විය. තම මිතුරන්ගේ කතා දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට දැනුණි.

“මැණිකෙ මිසුත් ලක්ෂ දහයක්ම ඕකෙ දාල තිබිල තියෙනවා”
“මැණිකෙලාටනං මොකද මචං  දේපල ඉඩකඩං නැතුව කියලෑ. මට දුක අර සරණේ වගේ අහිංසක මිනිස්සු ගැන”
“මටත් පෙරේදා සරණපාලව හම්බ උනා.මේ ටික දවසට මිනිහා පිස්සෙක් ගානට වැටිලා, හූල්ලනව අහගෙන ඉන්න බැරි තරමට දුකයි.”
“පිස්සු නොහැදි තියෙවි ඈ. ඒ මනුස්සයා මුලු ජීවිතකාලෙම හම්බු කරපු සල්ලි ටික තමයි ඔය දාලා තිබිල තියෙන්නෙ”
“අහිංසක මිනිස්සු කීදෙනෙක් දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඔය තැන්වල දාලා තිබිලද?”
“එක අතකට මිනිස්සුගෙත් තණ්හාව. කීයක් හරි වැඩිය දෙනවා කියපු ගමන් ඕන කුණුගොඩකට අතගහනවා.”
“මම නං මචං බැංකුවකවත් ඔය ලොකු සල්ලියක් දාලා තියන්නෙ නෑ. එක්කො ගෙදර වැඩකට හරි ලමයින්ගෙ වැඩකට හරි යොදවනවා.”
“එක අතකට දැන් රටේ  වෙන දේවල් ඇහුවම සල්ලි ගෙදර ගෙනල්ලා තියාගන්න එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.”
“ඔව් ඉතිං පුස් කනව කියලෑ. අඩුම තරමේ තමන්ගෙ සල්ලි තමන් ලග කියලා හිතට හරි සැනසිල්ලක්නෙ.”
පැයක හමාරක වේලාව්ක් සමාගම් කාර්යාලය තුල  ගත කල සුමනසේකර මහතා එදින ඉන් පිටවුයේ එහි ස්ථාවර තැන්පතුවක දමා තිබු තමාගේ ලක්ෂ පහක මුදලද රැගෙනය.
 
හැටවන වියට පා තබා සිටින සුමනසේකර මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගැහැනු දරුවන්ම තිදෙනෙක් වු සුමනසේකර යුවලට පවුල් බරෙන් අඩුවක් නොවීය.අසාර්ථක විවාහයකින් පසු ගෙදර පැමිණ සිටින සිය වෑඩිමහල් දියණිය හා ඇගේ දරුවාටද රැකවරණය සැපයීමට සිදුවී තිබුයේ සුමනසේකර යුවලටය.පාසැල් යන පවුලේ බඩ පිස්සිත් , සරසවි වරම් ලද මද්දුමීත් ඇතුලුව පවුලේ සියලු ආර්ථික අවශ්‍යයතා සැපිරීමට සිදුවුයේ සුමනසේකර මහතාගේ විශ්‍රාමික වැ‍ටුපට හා ඔහුගේ තිස්වසරකට ආසන්න ගුරු සේවයෙන් ඉතිරිකරගත් ලක්ෂ පහකට ලැබෙන පොලි මුදලටය.එහෙත් අද දින සිට තමන්ගේ එක් ආදයම් මර්ගයක් වැසී ගොස් ත්මන් තවත් කබලෙන් ලිපට වැ‍ටුණිදෝ යන සිතුවිල්ල සුමනසේකර මහතාගේ සිතට වද දෙන්නට විය.එහෙත් එම සිතුවිල්ල යටපත් කරමින් සිය බිරිදගේ වදන් ඔහුගේ මනසෙහි දෝංකාර දෙන්නට විය.
“කියන දේ අහලා ඔය සල්ලි ටික අර ගන්නවා මනුස්සයො. මේ කාලේ කිසිම මිනිහෙක් ඔය තරම් ලොකු ස්ල්ලියක්  කොහෙවත් දාලා තියන්නෑ.අර හන්දිය කඩේ මුදලාලිත් ඕකේ දාලා තිබුණු සල්ලි සේරම අර ගත්තලු.අපිට තව බන්දල දෙන්න කෙල්ලො දෙන්නෙක්  ඉන්නවා.මොකද අපට විකුණන්න දේපල ඉඩකඩම් තව තියෙනවා කියලෑ.අනිත් සේරම මිනිස්සු මේකාලේ තමන්ගෙ සල්ලි බේරගන්න දත කට කනවා. මෙයා විතරක් ගෙදරට වෙලා වෙස්සන්තර වෙන්න හදනවා.කියනදේ අහලා හෙට උදේම ගිහිල්ලා ,පුලුවන් වෙලාවේ ඔය සල්ලිටික අරගෙන එනවා.රුපියල් හය හත්දාහක පොලිය වගේද මනුස්සයො ලක්ෂ පහක් කියන්නෙ.”
තොර‍තෝංචියක් නැතිව ඇදහැලෙන්නා වු වැස්සක් මෙන් පසුදා රාත්‍රිය පුරා ඇසුණු බිරිදගේ වදන් සුමනසේකර මහතාගේ දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් විය.
 
බසයෙන් බිමට බට සුමනසේකර මහතා තමාගේ පොතු ගැලවුණු හම් බෑගයද තරයේ අල්ල ගනිමින් වෙනදා මෙන් හංදියේ සුනංගු නොවී හැකි ඉක්මණින් තම නිවස දෙසට පය ඉක්මණ් කලේ දෑස් පොලවට යොමා ගෙනය.ප්‍රදේශය තුල පිලිගත් පුද්ගලයකු වු සුමනසේකර මහතා මගතොටේදී හමුවන ඕනෑම පුද්ගලයකු සමග දොඩමලුවීමේ සිරිත අද දින ඔහුගේ සිතට වලංගු නොවීය. ගම්සභා පාර දිගේ ඇවිද එන සුමනසේකර මහතට සිය බිරිද ආලින්දයේ මග බලමින් සිටිනු ඈත තියාම නෙත ගැ‍ටුණි.

“මං ඒත් බැලුවා ටිකක් පරක්කුවෙන කොට මොකද කියලා” සුමනසේකර මහතා ගෙට ගොඩවීමටත් පෙර සිය බිරිද තෙපලන්නට විය.
“ඒකේ සෙනග පිරිල” ඔහු සිය බිරිද අත ප්‍රවේසමට හම් බෑගය තබමින් පැව්සුවේය.
“ඔක්කොම සල්ලි හම්බ වුණාද?”
“හ්ම්”
“ඕන්න දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ” ඇය බෑගය තුරුල්ලට ගනිමින් පැවසුවය.
සුමනසේකර මහතා කමිසයේ බොත්තම් ලිහිල් කරමින් සිය බිරිද පි‍ටුපසින් ඇදුණාය.නිවස තුල වසා දමා තිබු ගබඩා කාමරය ගවුම් සාක්කුව තුල වු යතුරකින් විවර කල ඇය එහි තැන තැන ගොඩගසා තිබෙන ලට්ට ලොට්ට එහා මෙහා කරන්නට විය.
“ඔයා ඔය  මොකද කරන්න යන්නේ?” සුමනසේකර මහතා විමසුවේ බිරිදගේ ක්‍රියාවෙන් විලම්බීත වූයෙක් සේය.
“මේ ටික පරිස්සම් ඇති තැනක තියන් එපැයි” බිරිද තෙපලේය.
“ඒකම තමයි මමත් මේ කියන්න කටගත්තෙ”
බිරිය ගබඩා කාමර්යේ කොනක තබා තිබු පෙට්ටකම විවර කලාය. ඉන් අනතුරුව එහි වු පිගන් බඩු ඉවතට ගත් ඇය හම් බෑගය
තුලින්ගත් මුදල් නොට්ටු සහිත කවරය පෙට්ටගම් පතුලෙ තබා නැවත ඒ මත පිගන් බඩු පුරවා පෙට්ටගම වසා යතුර ගවුම් සාක්කුව තුලට ඔබා ගත්තාය.
“මෙතන වැඩිය කාගෙවත් ඇහැ ගැටෙන්නෑ. ආරක්ෂාවත් හොදයි.” ඇය විලම්බීතව බලා සිටින සැමියා දෙස බලා පැවසුවාය.
අනතුරුව යුවල ගබඩා කාමරය වසාදමා නිවස තුලට වැදුණි.
වෙනදාට අටහාමාරේ ටෙලි නාට්‍යයෙන් පසුව නින්දට යන සුමනසේකර මහතා එදා රාත්‍රි දහය පසුවන තුරුත් රූපවාහිනියේ චැනල මාරුකරමින් සිටියේය.නින්ද ඔහු අහලකවත් නෙවීය.වරින් වර ඔහුගේ සිත තුල නොයෙකුත් සිතිවිලි පැන නගින්නට විය. ඒ සියල්ල සුමනසේකර පවුලේ අනාගතය හා තමා රැගෙන ආ ලක්ෂ පහ හා සම්බන්ධ ඒවා විය.

“මද්දුමීගේ අන්තිම අවුරුද්ද නිසා අද හෙටම පත්තරේට දාලා මනමාලයෙක් හොයන්න පටන් ගන්න ඕනා.ලොක්කිට වගේ නෙමෙයි මද්දුමීට යමක්කමක් තියෙන තැනකින් බලන්න ඕනා. ඊට ඉස්සෙල්ල මේ ගෙයි ඉස්සරහ පැත්තෙ රෙපයාර් එක කරගන්න ඕනා. නැත්තං කෙලී බලන්න එන මිනිස්සු හිතයි අපි මහ කෝඩකාරයෝ කියලා.කෙල්ලට දෑවැද්දට මුදලින් ලක්ෂයක් දෙනවා කියලම පත්තරේ දාන්න ඕනා.මගුලක් ගන්නත් ලක්ෂයක් හමාරක් විතර යයි.ඉතිරි සල්ලි ඔක්කොම පොඩි කෙලීට අරන් තියනවා.පොඩ්ඩිටනං තව කල වයසක් කියලෑ. එහෙම වුණොත් ටිකක් ගුරු  විශ්‍රාම සමිතියේ සීට්ටුවට දානවා.මගුලක් කනව නං ගෙදරට අලුත් බඩු මුට්ටුට ටිකක් ගන්නත් වෙනවා.ලොක්කි ගැන නොබලත් බෑ.ඒකිටයි පොඩි එකාටයි යන කල දවසක් බලන්නත් ඕනෑ.”
“අද ඔයා නිදා ගන්නෙ නැද්ද?” සිය බිරිදගේ හඩින් සුමනසේකර මහතා නැවතත් පියවි ලෝකයට අවතීරණ විය.
තමා පෙරලා එම ප්‍රශ්නයම සිය බිරිදගෙන් ඇසිය යුතුව තිබුණද සිය බිරියගේ සිත ගැන දන්නා සුමනසේකර මහතා නිහඩවම රූපවහිනිය වසා දමා ඉස්සරහ කාමරයට රිංගා ගති.ලොකු දියණිය හා මුණුපුරා මහගෙදරට පැමිණිදා සිට සුමනසේකර මහතා තනිවම ඉස්සරහ කාමරයේ නිදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු කාමරයේ විදුලි බුබුල නිවාදමා ඇදේ වැතිරුණි.මොහොතකින් ආලින්දයේද විදුලි බුබුල නිවී දොර වැසෙණු ඔහුට ඇසුණි.
 
තමාගේ හුස්ම ගැන්ම ඇසෙණ තරමටම මුලු නිවස පුරාවටම අදුර සමග නිහැඩියාව පැතිර යන්නට විය. අවට නිහැඩියාව පැතිරුනද සුමනසේකර මහතාගේ සිත තුල නම් එකම කාලගෝට්ටියක් විය.තමන් ගෙදර රැගෙන ආ ලක්ෂ පහක මුදලෙන් කලයුතු දෑ පිලිබද සිතුවිලි කුබි ගුලක් තුලට ඇදෙන කුහුබුවන් මෙන් ඔහුගේ සිත තුල පෙලගැසෙන්නට විය.
ක්‍රමයෙන් හෝරා කිහිපයක් ගතවී මැදියම පසුවන තුරුත් සුමනසේකර මහතාට නින්දක් නොවීය. ඔහු ඇදේ ඒ මේ අත පෙරලෙමින් නින්දක් ලබාගැනීමට ගත් උත්සාහය ඔහු මේ වන විටත් අත්හැර දමා තිබුණි.ඔහු සිතට තම ගත ආක්‍රමණය කිරීමට ඉඩ හැර නිසොල්මනේ දෙනෙත් පියා ඇද මත වැතිර හුන්නේය.
හදිසියේ පිලිකන්නේ බල්ලා බුරන ශබ්දයක් ඇසුණෙන් සුමනසේකර මහතා සිය විදුලි පන්දමද රැගෙන ආලින්දයට පැමිණියේය.මෙතෙක් ජීවිතයේ කිසිම දිනක සොර සතුරු උපද්‍රවයකට මහුණ නොපා තිබුණද අද සුමනසේකර මහතාගේ සිතට තරමක චකිතයක් දැනෙන්නට පටන්ගෙන තිබුණි.එහෙයින් ඔහු විදුලි පන්දම කිහිපවිටක් මිදුල දෙසට අල්ලමින් පිලිකන්න දෙසට පියමැන්නේය.
සුමනසේකර මහතා දු‍ටු බල්ලා හීන් කෙදිරියක් ගා නිහඩවම බිම වැතිරී නගුට වනන්නට විය.එහෙයින් ඔහුද විදුලි පන්දම පිලිකන්නේ වත්ත වටා කිහිප විටක් අල්ලා නැවත නිවස තුලට යාමට සැරසුණි.
හදිසියේම නිවස තුලින් හඩක් ඇසුණි.එකවරම හඩ කුමක්දැයි වටහාගත නොහැකි වුවද හඩ පැමිණියේ නිවස තුලින් බවට සුමනසේකර මහතාට සක් සුදක්සේ පැහැදිලිය. ඔහු මොහොතක්වත් පමා නොවී නිවස තුලට පය ඉක්මණ් කලේය.එහෙත් ඔහු නිවසේ ආලින්ද්යේ පඩිය නගිනවත් සමගම තවත් වරක් නිවස තුලින් ශබ්දයක්
ඇසුණි. මෙවර කලින්ට වඩා උස් හඩට ඇසුණු ශබ්දයෙන් සුමනසේකර මහතාගේ ඇග කිලිපොලා ගියේය. බිය සැක ඔහුගේ සිතෙහි රජයන්ට විය.වහා සිය කාමරයට වැදුණු ඔහු අදුරේම අත පත ගා ඇද අසල වු කිතුල් පොල්ල අතට ගත්තේය. විදුලි පන්දමත් නිවා දමා ඔහු හෙමින් සීරුවේ නිවස තුලට ඇතුල් විය.පොහොය ගෙවී වැඩි දිනක් නොවුවෙන්  ජනේල අතරින් නිවස තුලට හද එලිය වැටී තිබුණි.
හදිසියේම නැවතත් එම ශබ්දයම ඇසුණි.මෙවර ශබ්දය පැමිණියේ ගබඩා කාමරයෙනි.සුමනසේකර මහතාට තරු විසිවුණි.එහෙත් ඔහු සිත දමනය කර ගනිමින් හෙමින් සීරුවේ ගබඩා කාමරයේ දොරකඩට ලංවිය.ගබඩ කමරයේ දොර හොදින් වසා තිබුණි.ඔහු හෙමින් සීරුවේ දොරට කන තැබුවේ කලින් ආ ශබ්දය නැවත නො ඇසුණු හෙයිනි.එහෙත් කාමරය තුල යමක් බිම ඇතිල්ලෙන ශබ්දයක් නිරන්තරයෙන් ඔහුගේ කන වැකෙන්නට විය.ඒත් සමගම සුපුරුදු ශබ්දයද විටින් විට ඇසුණි.කාමරය තුල යමෙකු සිටින බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. කෑ ගසා නිවැසියන් අවදිකිරීමට ඔහුට සිතුණි.එහෙත් ඒ අවසරයෙන්  සොරා තම මුදල්ද රැගෙන පලායාවියයි ඔහුට සිතුණි.නිවසේ පිරිමියකුට කියා සිටින්නේ තමා පමණක් බව සිතූ සුමනසේකර මහතා සිතට වීර්යය ගත්තේය.කලයුතු සුදුසුම දේ  සිතු ඔහු අසල තිබු ඇදි පු‍ටුව හීන් සීරුවේ දොරට සිර කලේය.ඉන් අන්තුරුව කිතුල් පොල්ල තරයේ දෑතට ගෙන නිවස පි‍ටුපසට මුහුණලා ඇති ගබඩා කාමරයේ ජනේලය වෙත හීන් සීරුවේ පිය මැන්නේය. ජනේලයේ පියනක් විව්තව තිබෙණු දු‍ටු ඔහු තව තවත් සිතට වීර්යය ගෙන ජනේලයට කිට්ටුය විය.ගබඩා කාමරය තුලින් එන සුපුරුදු ශබ්දය හා බිම ඇතිල්ලෙන හඩත් දැන් බොහොම පැහැදිලිව ඔහුට ඇසෙන්නට විය.
සොරෙකු ජනේලයෙන් කාමරයට ඇතුලු වී ඇති බවට සුමනසේකර මහතාට දැන් කිසිදු සැකයක් නොමැත.ඔහුගේ දහඩිය වගුරන දෑත් අතර සිරකරගත් කිතුල් පොල්ලද මානමින් ඔහු හෙමින් සීරුවේ ජනේලයට එබුණි.එහෙත් ජනේලයේ යකඩ පට්ටමට කිසිදු හානියක් නොවී තිබෙණු දු‍ටු ඔහු තරමක් මවිත වුවද ඒ ගැන නොතකා ඔහු ශබ්දය එන දෙසට කන්දීගෙන ජනේලයෙන් කාමරය තුලට එබුණි.
 
ගබඩා කාමරයට වැටී තිබුණු සද එලිය සුමනසේකර මහතාට සියල්ල එකවර දර්ශනය කලේය. තම බිරිද පෙට්ටකම අසල පැදුරක් එලා බිම නිදා හුන්නාය.විටින් විට ඇය මදුරුව්න් තලමින් පැදුරේ අත් පය අතුල්ලන අයුරු සුමනසේකර මහත ගල් ගැසී බල හුන්නාය.

සිය කාමරයට වැදී ඉතිරි හෝරා දෙකත් නිදි වර්ජිතව ගත කල සුමනසේකර මහතා පසුදින උදයේම බිරිදගේ රැවිලි ගෙරවිලි මැද බැංකුවකට ගොස් තම මුදල නැවත තැන්පත් කලේ සිතේ සහනය  ලක්ෂ පහකට වඩා වටිනා බව සිතමින්ය.
 
Author : Daminda dampahalage

Saturday, March 15, 2014

අපේ ගම For Sale

                                                        අපේ ගම For Sale

"ගමයි ,පන්සලයි ,වැවයි ,දාගැබයි" වසර දෙදහස් පන්සීයකට වැඩි ඍඩ ඉතිහාසයකට උරුමහරුමකම් කියන ශේෂ්ඨ ජාතියක් බිහිකල අති දැවැන්ත ශිෂ්ඨාචාරයක පදනම වනාහි මෙම සිව්වදනයි.ගමෙන් ඔවුන් ජීවත් වු සෞභාගයමත් වටාපිටාවද , පන්සලෙන් ආගමික සංස්කෘතියද ,වැවෙන් ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වු කෘෂිකාර්මික වපසරියද ,දාගැබෙන් ඔවුන් තුල කිදා බැස තිබු විශ්වාසය හා පුජනීයත්වයද විග්‍රහ වේ.වාසනාවට හෝ අවාසනාවට ශ්‍රිලංකාවට දාව ඉපදුණු ඔබ අපද මෙම ශිෂ්ඨාචාරයේ කොටස්කරුවෝය.එම නිසා මේ ගැන කතා කිරීමට කැක්කුමක් අපටද ඇත.
 
ගම යනු අප ජාතියේ ආරම්භය සනිටුහන් කරන එක සජීවී කෙන්ද්‍රස්ථානයකි. එනම් ශ්‍රිලංකාවේ සිවිල් ජනාවාස ආරම්භවන්නේ ගමෙනි.එහෙයින් අප සියලු දෙනා ඝජුවම හෝ වක්‍රාරයෙන්ගමට සම්බන්ධය.උදාහරණයක් ලෙස ඔබ ගමක ඉපිද හෝ හැදී වැඩි නොතිබුණද , ඔබගේ පියා එසේත් නැතිනම් අත්තා ,පනත්තා ,නත්තා ,මුත්තා ,කිරිකිත්තා,කිරි කෑ මුත්තා මේ කවරකු හෝ ගමට ජනිත වුවන් බව නොඅනුමානය. එහෙයින් ගම කියු සැණෙන් යම් යථාර්තවාදී චිත්‍රයක් මනසේ මවා ගැනීමට හැකිවීමට තරම් අප තවමත් වාසනාවන්තයො වෙමු.
 
අද ශ්‍රීලංකාව සාපේක්ෂව බලන කල විශාල ආර්ථික හා සාමාජීය පරිහානියකට ලක්ව තිබේ.සමාජීය පරිහානිය පිලිබදව අමුතුවෙන් උදාහරණ ගෙන හැර දැක්විය යුතු නැත.මෙය ලංකාවට පමණක් නොව මුලු ලෝකයාටම පොදු ධර්මතාවක් ලෙස සිතා අපට සිත හදා ගත හැකිය.කෙසේ නමුත් සමාජීය පරිහානියට නිධන් ගත හේතුව වන්නේ මුලික වශයෙන් මිනිසාගේ අධයාත්මික සංවර්ධනයයි. දියුණු රටක(ආර්ථික සංවර්ධිත රටවල්) නම් මෙහි වගකීම කිසියම් ආගමකට බැර කල හැක.එහෙත් ලංකාව වැනි තවමත් තුන්වන ලෝකයේ සිටින රටකට මෙහි වගකීම හුදෙක් ආගමකට පමණක් බැර කර අත සෝදා ගත නොහැක.මන්ද යත් අපගේ ආර්ථික කඩාවැටීම අපගේ සමාජීය පරිහානියට ඝජුව බලපාන හෙයිනි.එම නිසා අප මුලිකත්වය දිය යුත්තේ අපගේ ආර්ථික සංවර්ධනයටය. "කුසගින්නේ සිටින මිනිසුන්ට බණ කීමට යාම අණුවන ක්‍රියාවකි."
 
වර්තමානයේ ගම් නගර වී,නගරද සුපිරි නගර බවට පත්වෙමින් තිබේ.මෙය එක්තරා පැතිකඩකින් ඉතාහොද දෙයකි.නවීන තාක්ෂණය සමග ඉදිරියට යාම රටක ජතියක සංවර්ධනයට ඉතා වැදගත්ය.අප එය විවේචනය නොකරන්නෙමු.එහෙත් මෙම සංවර්ධනය අප රටට උචිත හෙවත් යොගයය සංවර්ධනයක් දැයි සොයා බැලීම වැදගත්ය. සරල උදාහරණයක් ගනිමු.ඔබ විශාල බැංකු ණයක් ගෙන සුවිසල් අලංකාර නිවසක් ගොඩනගනවා යැ‍යි සිතන්න.මෙය කාමර හතකින් , වැසිකිලි හතරකින් යුතුව විශාල භූමි ප්‍රමාණයක ඉදිවේ. වෙල්යායක් අසල පිහිටා ඇති මෙමෙ නිවසට ඔබ විශාල මුදලක් වැයකර වායුසමීකරණ පද්ධතියක්ද සවි කරයි.අවසානයේ ඔබ නිවස සාදා අවසන් කරයි.බැලු බැල්මට මෙය මනස්කාන්ත දර්ශනයකි.සමාජයද ඔබව පසසයි ,ලොකු සල්ලි කාරයෙක්ගේ ගෙයක් යැයි පවසයි.එහෙත් යථාර්තය ඔබ ඉදිරියේ විශාල ණය බරකි.ණය බරින් මිරිකී සිටින ඔබට ජීවිත්යේ මුලික අවශයතා පවා කප්පාදු කිරීමට සිදුවනු ඇත.අවසානයේ ඔබට මෙම ණය ගෙවීමට නොහැකිව නිවසද බැංකුවට සින්නවනු ඇත. අප රටේ සංවර්ධනයද මේ හා සමානය. ආර්ථික විද්‍යාවේ මුලිකම න්‍යාය හර සහ බැරය ,නොහොත් ආදායම් හා වියදම්ය.ඕනෑම දෙයක දියුණුව වනාහි ආදායමට සාපේක්ෂව වියදම පහතින් පවත්වා ගැනීමය. කුඩා තේ කඩයේ සිට මහාපරිමාණ ව්‍යාපාර දක්වා මෙය පොදු ආර්ථික න්‍යායකි. අද ලංකාවේ ආර්ථිකය මේ සරල න්‍යායටවත් යටත් නැත. වර්තමානයේ ලංකාව විශාල ණය බරකට මුහුණපා සිටී , මෙය කොතෙක් දැයි කිවහොත් එම ණයෙහි පොලිය ගෙවීමට පමණක් තවත් ණය ගැනීමට සිදුව ඇත.රජය මෙම සියලු බර අසීමිත ලෙස බදු අයකිරීම මගින් ජනතාව මත පටවා ඇත.මෙය දරා ගැනීමට නොහැකිව ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් කඩාවැටීමට ලක්ව ඇත. වර්තමානයේ ලංකාවේ සංවර්ධනයේ නිර්නායක වී ඇත්තේ මහාමාර්ග,ගුවන් තොටු පල හා වරාය ඉදිකිරීම්ය.රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම රටක සංවර්ධන ක්‍රියාවලියේ ධනාත්මක සාධකයකි.එමගින් පොදු ජනයාගේ ප්‍රවාහනය විදිමත්වීම ඔස්සේ රටේ ආර්ථික ක්‍රියාවලියට යම් සක්‍රීය දායකත්වයක් සපයනු ඇත.එහෙයින් අතුරුපාරේ සිට ප්‍රධාන මාර්ග දක්වා පුලුල් කිරීම් ,කාපට් කිරීම් අපි හෙලා නොදකිමු.එහෙත් කි.මි 432 දිගින් හා කි.මි.224 පලලින් යුතු ශ්‍රිලංකාව තුල අධි වේගී මාර්ග පමණක් මුලික කර ගත් සංවර්ධනයක් අපට යෝග්‍යය දැයි සිතා බැලිය යුතුය.තවද විශාල වශයෙන් ලෝකයට ණ‍ය වෙමින් ඉවක් බවක් නැතිව කරන දැවැන්ත ඉදිකිරීම් ,උදාහරණ ලෙස නැව් නෝඑන හම්බන්තොට වරාය ,ජෝයි ෆලයිට් යන මත්තල ගුවන් තොටුපල, තරග නැති ක්‍රීඩාංගන හරහා රටේ ආර්ථිකයට වන විනාශය සලකා බැලිය යුතුය. බැලූ බැල්මට 10% ජීවත් වන කොලඹ නගරය ඉතා සුන්දරය. එහෙත් මෙය සිරිදාසගේ ගේ සැදීම වැනි දැයි සිතා බැලිය යුතුය.මේ අයුරින් වර්තමාන රජය විසින් අප රට මතුපිටින් පමණක් පෙනෙන භෞතික සංවර්ධනයකට සීමා වු සංවර්ධන මාවතකට අද රට ඇද දමා ඇත. එම නිසා අද අප රටේ අන්තිම හුස්ම ටික වැටෙන මහල්ලාගේ සිට නුපන් ලදරුවා දක්වා වු සැවොම ලෝකයට විශාල ණයකරුවන්ය. දැනට වුවද ශ්‍රිලංකාවේ ආර්ථිකය මේ අයුරින් හෝ පවත්වා ගනු ලබන්නේ මැද පෙරදිග වහල් සේවයට ගොස් සිටින අපගේ සහෝදර සහෝදරියන් මෙරටට ගෙන එනු ලබන විදේශ විනිමයට පින්සිදු වන්නටය. නෝඑසේ නම් අප සියල්ලන්ම යම් බලවත් රටක වහලුන් වන දිනය වැඩි ඈතක නොවේ. මේ සියල්ලට හේතුව අප අනුගමනය කරන සංවර්ධන මාවත අපට යෝග්‍යය නොවන්නක් වීමය.කෙස් පැලෙන තර්ක විතර්ක කොතෙකුත් ගෙන හැර දැක්විය හැකි වුවුද අමිහිරි සත්‍ය නම් අප රටට ආවේණික නොවු කොහේදො යන භෞතික සංවර්ධනයක් කරපින්නා අප ඒ තුල මංමුලාවී සිටීමය. ඔනෑම කෙහෙල්මලකට ලොකය දෙසට හැරෙන පරාධීන මනසක් ඇති මහා මොලකරු යැයි කියා ගන්නා පිරිසක් විසින් අපිව මෙම අගාධයට ඇද දමා තිබේ.ලොකයට උදාහරණ දීමට සමත් පරිපුර්ණ සංවර්ධනයක් හිමිකර සිටි ශේෂ්ඨ ජාතියකට අද මෙම නිවට රැල හමුවේ ලොකයාගේ ඇස්සට දත නියවීමට සිදුව ඇත.අගහරු ග්‍රහයාට රොකට් යවන යුගයක සිට වුවද අපට ගම ගැන කථා කීරීමට සිදුවුනුයේ ඒ නිසාය.
 
අපේ ගම වනාහි ස්වයංපොෂිත ආර්ථික ක්‍රමයක් පවත්වාගත් ස්ථානයකි.ඔවුනට අවශ්‍යය සියලු දෑ ගම තුල නිෂ්පාදනය විය.ඒ සදහා ගමේ සම්පත්ද ඔවුනට අවේණික වු තාක්ෂණයක්ද භාවිතා කලේය.මේ නිසා අපේ ගම කිසිවෙකුට ණය නැත.මේ නිසා අප උදාහරණයට ගත යුත්තේ අපේ ස්වයංපෝෂිත ගමය. එම අර්ථ ක්‍රමය මුලික න්‍යාය කර ගනිමින් නුතනයට ගැලපෙන අයුරින් රටේ සංවර්ධන ආකෘතිය නිර්මාණය කල යුතුය.ඉන් පසු මෙය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්කල යුතුය. එය බලයට පැමිණෙන ඕනෑම රජයක් විසින් පොදුව අනුගමනය කල යුතු රටේ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය විය යුතුය.ඒ සදහා අවධානය යොමුවිය යුතු කාරණා කිහිපයක් සැකවින් ගෙන හැර දක්වන්නෙමු.
 
රට තුල කර්මාන්ත ඇති කිරීමට ආයෝජන දිරිමත් කර ඒ තුලින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරීම.
 
කෘෂිකර්මාන්තය නගා සිටුවා ,රටට අවශ්‍යය ආහාර රට තුල නිපදවා , අහාර ආනයනය සදහා වැය වන විදේශ විනිමය අවම කිරීම. එමෙන්ම ආනයන කෙරෙන ආහාර ද්‍රව්‍යය සදහා වන ආනයන බද්ද වැඩි කර , ජනතාව දේශීය පරිභෝජනයට හුරු කිරීම.(උදාහරණයක් ලෙස ජපානයේ හාල් සදහා වන ආනයන බද්ද 400% කි.)
 
අද ලෝකයේ ඉහල ඉල්ලුම්ක් ඇති සුලු අපනයන බෝග නිෂ්පාදනය වැඩි කරීමට අවශ්‍යය ආයෝජන දිරිමත් කිරීම.
 
විදේශ ගත වන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි කිරීම. ඒ සදහා අවශ්‍යය වෘත්තීය පුහුණුව හා විදේශ ගත වීමට අවස්ථා ලබාදීමට ආයෝජනය කර ,ප්‍රතිලාබ ලෙස ඔවුන් හරහා රට තුලට විදේශ විනිමය ගලා ඒමට සැලස්වීම.
 
ශ්‍රීලංකාව අද බොරතෙල් ගෙන්වීම සදහා විශාල මුදලක් වැ‍ය කරයි. මින් වැඩි ප්‍රතිශතයක් වැ‍ය වන්නේ රථ වාහන සදහාය.මෙය අවම කර ගැනීමෙන් විශාල විනිමයක් රට තුල ඉතිරි කර ගත හැක. මෙය කල හැක්කේ විකල්ප බලශක්ති භාවිතා කරන රථවාහන (hybrid ,electric ,gas)පරිහරණයට ජනයා නැඹුරු කිරීමෙනි.මේ වාහන සදහා විශේෂ බදු සහන හා දීමනා රජය විසින් ලාබා දීම මගින් එහි ප්‍රතිලාභ රටේ ආර්ථිකයට පමණක් නොව පරිසරයටද හිතකාමී වනු ඇත.
 
රටේ ආර්ථිකය කාදමමින් සිදුකෙරෙන තාප බලාගාර වෙනුවට අවුරුද්දේ 365 දවසේම ඉරපායන රටේ සුර්යය බලාගාර ඉදිකිරීමට ආයෝජනය කිරීම.
 
අධිවේගී මාර්ග වෙනුවට සියලු දෙනාට පරිහරණය කල හැකි රට අභ්‍යන්තරයේ ඇති දුම් රිය මාර්ග වැඩි දියුණු කිරීම.
 
තවද අපේ ගම් තුල පාරම්පරිකව රැකගෙන ආ දේශීය ඥානය විශ්ව විද්‍යාල මට්ටමින් දැනුම ලෙස රට තුල ව්‍යාප්ත කල යුතුය,මන්ද යත් අපට යොග්‍යා සංවර්ධනය සැගව ඇත්තේ එම ඥානය තුලය.උදාහරණ ලෙස අයුරුවේද වෛද්‍යය විද්‍යාව ,පාරම්පරික කෘෂිකාර්මාන්තය හා සත්වපාලනය ආදියේ භාවිතා කල ක්‍රමවේදයන් දැක්විය හැක. එවිට තාක්ෂණය සදහා පිටරටට වැ‍යකිරීමට සිදුවන පිරිවැය අඩුවනු ඇත.
 
මේ අයුරින් අප රටේ වර්තමාන සංවර්ධනයට අවශ්‍යය මුලික න්‍යාය සැගව ඇත්තෙ අපේ ගම් තුලය.එම නිසා අපට නැවත ආපස්සට හැරී අපේ ගම් සොයා යාමට සිදුවනු ඇත. වර්තමානයේ අපේ ගම හුදෙක් ප්‍රදර්ශන හා වෙලද භාණ්ඩයක් බවට පත්ව ඇත. ඒහත් අපේ ගම අප නියම ආකාරයෙන් තේරුම් ගෙන ඇත්දැයි ප්‍රශ්නයකි. අපේ ගම තුල පැවති ගැඹුරු දර්ශනය වෙනුවට අප සැබවින්ම උකහාගෙන ඇතතේ මතුපිටින් පෙනෙන ගමේහි භෞතිකමය ලක්ෂණ පමණක් වීම මෙයට හේතුවයි. ලගදී දිනක කොලඹ ඉදිකර ඇති අපේගම බැලීමට ගියෙමි. රු 100 ක මුදලක් ගෙවා අපේ ගමට ඇතුලු වුයෙමි. විශාල බස් රථ දෙකකින් පැමිණි පාසල් සිසුන් පිරිසක් පොලීමේ අපේගම බැලීමට සැදී පැහැදී සිටිනු දුටු මා හට සිහිවුයේ මගේ ලමා කාලයයි. එහෙත් එම චිත්තප්‍රමොදය කලකිරීමකට හැරවුයේ බස් රථ වල "අනුරාධපුරය" හා "කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය "යන නාම පුවරු දැකීමෙනි.අද අපට සිදු වී ඇති ඛේදවාචකය මෙයයි. ගමේ දරුවන් ගෙනැවිත් අපට සංවර්ධනය කියා පෙන්වීමට සිදුව ඇත්තේ කොලඹ ඉදිකර ඇති "අපේ ගමය".මෙය රටේ සංවර්ධන න්‍යාය පත්‍රයට කෙසේ වෙතත් රටේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට නම් සුභවාදී වනු ඇත.
 
Author:Daminda dampahalage